ගම්පහ සිරා මියගොසින්.මාගේ මිත‍්‍රයෙකු ඉකුත් 16 වැනිදා උදෑසන මට ලබාදුන් දුරකථන ඇමතුමෙන් කියැවුනේ එයයි. සුසුමක් හෙලූ මම දුරකථනය වසා දමා මොහොතකට ගොළු උනෙමි. කී‍්‍රඩාවේ තවත් දැවැන්තයෙකු නිසි ගෞරවයක් නොලබා නික්ම ගිය බවට වන හිස් හැගීමක් පමණක් මා තුල ඉතිරි විය.

1938 දී ගම්පහදී උපත ලද වොලිබෝල් සිරා හෙවත් සිරිවර්ධන තම යොවුන් අවධියේදීම ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීය.දේශීය තරගවලදී ඔහුගේ වේගවත් ඩෑෂ් පහරට හසුව වොලිබෝල් පිටිය තුල ඇද නොවැටුනු කී‍්‍රඩකයෙකු වේනම් ඔහු සිරා හා කී‍්‍රඩා නොකල අයෙකි යන මතය ඇති වන තරමටම ඔහු දක්‍ෂයෙක් විය.පන්දු සකසන්නාගෙන් සැකසෙන පන්දුවට පහරදීමට සිරා ගුවනට නැගෙන්නේ කුරුල්ලෙකු මෙනැයි වැඩිහිටියන් කියනු අසා ඇත්තෙමි.

වොලිබෝල් පිටියේ සිරාගේ, සිරා වික‍්‍රම රාශියකි. 1959 වසරේ පාකිස්ථානයේ පැවති අලි ජින්නා කුසලානය සිරාගේ නාමය පමණක් නොව ශී‍්‍ර ලංකාවේ වොලිබෝලයද ආසියාවේ ඉහලට ඔසවා තැබූ තරගාවලියක් විය. ආසියාවේ හොදම ප‍්‍රහාරකයින් සහභාගී වූ එම තරගාවලියේදී හොදම ප‍්‍රහාරකයා ගම්පහ සිරිවර්ධනම විය.ඊගහක වේගයෙන් ඉහලට නැග පන්දුව නොපෙනෙන තරමේ වේගයකින් ප‍්‍රතිවාදීන්ගේ සීමාවේ හෙලන සිරා හැර වෙනත් ඒ සදහා සුදුස්සෙක් සංවිධායකයෝ නුදුටුවහ.
සිරා හරියටම දශකයක් මෙරට ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කලේය. ඒ 1959 වසර සිට 1969 දක්වා කාලයයි. 1959 වසර සිරා වොලිබෝලයෙන් ඉන්දියාව කැළඹූ වසරයි. මෙරටදී වොලිබෝල් තරගාවලියක් කී‍්‍රඩා කිරීම සදහා දේහධාරී බාවාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ජාතික වොලිබෝල් පිල ශී‍්‍ර ලංකාවට පැමිණියේය.ඉන් තම ගම්පහ ජනතාව ඉදිරියේ පැවති තරගය සිරාට තීරණාත්මක විය. එක් අවස්ථාවක ඉන්දියාවේ පන්දු සකසන්නාගෙන් ඉහලට එසවුනු පන්දුව වැරදීමකින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සීමාවට ප‍්‍රවේශ විය.අතට ආ කුරුල්ලා කෙසේ අත් හරින්නද? ඉහල නැගුණු සිරාගේ යකඩ පහරින් ජවය ලැබූ පන්දුව ඉන්දීය නායක දේහධාරී බාවාගේ මුහුණේ හරි මැද සොයාගිය බව තරගය නැරඹූවෝ කියති. ඉහිං කණිං ලේ පෙරාගත් බාවා සිහිසුන්ව පිටිය මැද ඇද වැටුනු සිදුවීම පසුදින පුවත්පත් වාර්තා කර තිබුනේ ‘සිරා බාවා බාවයි’ යනුවෙනි.
දශකයක් සිරාගේ දායකත්වය ලද ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායමට සිරා නායකත්වයද ලබා දුන්නේය. 1966 වසරේ ආසියානු කී‍්‍රඩා උළෙලට එක්වූ ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායකයා වූයේද සිරාය.
කී‍්‍රඩාවෙන් සමුගත්තද සිරා වොලිබෝලය අතහැරියේ නැත.ඔහු පුහුණුකරුවෙක් විය.එසේම 1987 – 1993 කාලසීමාවේ ශී‍්‍ර ලංකා වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කලේද ගම්පහ සිරිවර්ධන මහතාය.එසේම ඔහු කලක් වොලිබෝල් සම්මේලනයේ ජාතික සංවිධායකවරයාද විය.
කෙසේ වෙතත් සිරාට නිසි ඇගයීමක් ලැබුනේද? මගේ හැගීම නම් නැත යන්නය. පසුගියදා කී‍්‍රඩාවේ හිටපු විශිෂ්ඨයන්ට මුදල් තෑගි පිරිනැමීමේදී මහින්ද රාජපක්‍ෂ ජනාධීපතිවරයාට සනත්,සුගත්, ශි‍්‍රයාණි,සුසන්තිකා මතක් වී තිබුනේය. එහෙත් ඔහුට සිරා,සිරාවටම අමතක වී තිබුණේය.
සිරා සිය පණ නල 15 වනදා කොළඹ ජාතික ගුවනට රෝහලේදී මුදා හැරියේය.එය සිරාගේ අතින් නික්මුණු පන්දුව ප‍්‍රතිවාදියා සොයා ආ තරම් පහසුවෙන් මුදා හැරුණිදැයි මම නොදනිමි.තමාට සැලකූ ආකාරය ගැන සිරා සිටියේ කළකිරීමෙන්දැයිද නොදන්නා කාරණයකි.කරුණු කෙසේ උවත් සිරාට මීට වඩා හොදින් සැලකීමට බලධාරීන් පියවර ගත්තේ නම් එය එදාට වඩා වටින්නේ අදය.
සිරා මැයි 17 වනදා මේ සටහන තබන මොහොතේ දැයින් නික්ම යාමට සූදානම්ව සිටියේය. ඒ අපූරු කී‍්‍රඩකයාට අවසන් බුහුමන් දැක්වීමට ඉහලගම පිහිටි ඔහුගේ නිවසට හෝ කසගහවත්ත පොදු සුසාන භූමියට කී දෙනෙක් දේශපාලඥයින් පැමිණියේදැයි මම නිශ්චිතව නොදනිමි.එහෙත් සිරාට මෙන් ඔවුන්ටද සිරාවටම හෘදය සාක්‍ෂියක් ඇත්නම් කිව යුතු දේ මා නොව ඒ හෘදය සාක්‍ෂිය ඔවුනට කියනු ඇත.ගම්පහ සිරිවර්ධන පියාණනි.ඔබට නිවන් සුව!

Posted by: lankasportstruth | May 14, 2010

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!

Categories